පුහුණු (Demo) ගිණුමේ ගනුදෙනු කිරීම - 02

ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම් මත මම මේ ලිපියත් ඉක්මනින් සකස් කළා. කියන්න සතුටුයි ගොඩදෙනෙක් ලොකු උනන්දුවකින් මේ දේ කරනවා. එයාලා බලාගෙන ඉන්නේ ඊලඟ ලිපිය කවදද  එන්නේ කියලා. මම මේ කරන දේ ගැන ගොඩ දෙනෙක් මට ස්තුති කරනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ඔයාලගේ  ප්‍රතිචාර තමයි  මට මේ දේ සාර්ථකව කරගෙන යන්න උදව් කරන්නේ. මෙතෙක් වෙනකල් සාර්ථකව මේ දේවල් කරගෙන ආපු අය දැන් ගොඩක් දුර ඇවිල්ල තියෙන්නේ. එයාලා forex trading වල මූලිකම දේවල් ටික දැන් හොඳටම දන්නවා. දැන් තේරෙනවා නේද මෙච්චර වෙනකන් ගොඩක් ලේසියෙන් ඔයා මේ දේවල් කළා. ඉතුරු ටිකත් ඒ වගේම හරිම ලේසියි. මම කියන පිළිවෙලටම කරගෙන යන එක විතරයි තියෙන්නේ. පුහුණු (Demo) ගිණුමේ ගනුදෙනු කිරීම ගැන තවදුරටත් මේ ලිපියෙන් කතාකරනවා.

හරි අපි දැන් බලමු මේ ලිපියෙන් අපි කතා කරන්නේ මොකක්ද කියලා. ඔයාලට මතක ඇති මම කලින් ලිපියෙදි ඔයාලට කියල දුන්නා ගනුදෙනුවක් open කරන්නේ කොහොමද කියන එක සහ close කරන්නේ කොහොමද කියන එක. ඔයා හරියට පුහුණු වුණා නම් දැන් වෙන්කොට ඔයාට පුලුවන් trade එකක් open කරන්න සහ close කරන්න. අපේ පළවෙනිම පුහුණුව තමයි ඒක. ඒකෙන් ඔයාලට ලාභ හම්බුනාද පාඩු වුණාද කියන එක ගැන හිතන්න එපා. මොකද අපි එතනදි පුහුණු වුණේ ගනුදෙනුව විවෘත කිරීම් සහ ඉවත් කිරීම විතරයි. තව ඉස්සරහට යද්දි ඔයාලට මේ දේ ටක් ටක් ගාලා කරන්න පුළුවන් වෙනවා. ඔයාලට මන් මේ ලිපියෙන් ගොඩක් වැදගත් දේවල් ටිකක් කියලා දෙනවා ගනුදෙනුවක් සම්බන්ධයෙන්. හරි අපි දැන් ඒ මොනාද කියලා බලමු.

Instant Execution Order

බලන්න ඔයාට මේක මතකද කියලා. ඔයා ගනුදෙනුවක් යොදද්දී ඔයාට window එකක් එනවනේ අන්න ඒකේ type කියන එකට අපි දැම්මේ මේක තමයි. මතක නැත්තම් කලින් ලිපිය පොඩ්ඩක් බලන්නකෝ. මම ඒකෙ නම් කරලම ඇති. Instant Execution order කියන්නේ අපි ක්ෂණිකව ඒ වෙලේම දාන ගනුදෙනුව. Instant Execution order එකක් දැම්ම ගමන් අපේ ගිණුමේ මුදල් අඩු වෙලා ගනුදෙනුව වැටෙනවා. අපි මේ වගේ ගනුදෙනු හැමවෙලේම යොදන්නේ නැහැ. ගොඩක් වෙලාවට market එක විශාල වශයෙන් වෙනස් වෙනවා වගේ දැනුන ගමන් තමයි අපි ක්ෂණිකව මේ වගේ ගනුදෙනු යොදන්නේ. ඒකෙන් අපිට එවෙලේම විශාල ලාභයක් ගන්න පුළුවන්. පල්ලෙහා තියෙන පින්තූරය බලන්නකෝ. එකේ මං පැහැදිලිව පෙන්නලා තියෙනවා දැන් කතා කරපු දේ.

පුහුණු (Demo) ගිණුමේ ගනුදෙනු කිරීම - 02

forex වල අපිට යොදන්න පුළුවන් ගනුදෙනු වර්ග දෙකයි තියෙන්නේ එකක් දැන් මම කතා කරා ඒ තමයි ක්ෂණික ගනුදෙනු. අපි බලමු ඊළඟට අනෙක් ගනුදෙනු වර්ගය මොකක්ද කියලා.

Pending Order

දැන් ඔයා අලුතෙන් ගනුදෙනුවක් දාද්දි type කියන තැන අපිට දාන්න පුළුවන් අනිත් ගනුදෙනු වර්ගය තමයි pending order කියන්නේ. ඔයාලට දැන් මම මේක පැහැදිලි කරන්නම්. මම කලින් කතා කළානෙ ක්ෂණික ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියලා. ඒ වෙලාවෙම අපිට යොදන්න පුළුවන් ගනුදෙනු තමයි ක්ෂණික ගනුදෙනු කියන්නේ. අපි හිතමු ඔයාට ඕන වෙනවා දැන් තියෙන මිලට වඩා ටිකක් මිල ඉහල ගියහම order එකක්  දාන්න. ඒක කරන්න නම් ඔයාට මේ චාර්ට් එක දිහා බලාාගෙනම ඉන්න වෙනවා ඒ මිලට එනකල්. ඒත් මේ software එකෙන් අපිට එහෙම කරන්න ඕනේ නැහැ. අපිට පුලුවන් අපිට අවශ්‍ය මිල තීරණය කරලා කලින්  order එකක් දාන්න. ඒකට තමයි pending orders එකක් කියන්නේ.

අපි හිතමු දැන් EUR/USD මිල තියෙන්නේ 1.1800 කියලා. දැන් ඔයාට ඕන වෙනවා EUR/USD මිල 1.1750 ආවහම buy order එකක් දාන්න. ඒ කියන්නේ තව ටිකක් මිල අඩු උනාම buy order එකක් දාන්න. ඒකට ඔයාට බලාගෙන ඉන්න දෙයක් නැහැ. ඔයාට පුලුවන් ඒ වෙලාවවෙම pending order එකක් දාලා ඒ මිල සටහන් කරන්න. එතකොට අපේ order එක පහලින් පෙන්නනවා. ඒත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ GPB/USD මිල 1.1750 ට ආවට පස්සේ විතරයි. ඔයාට හිතුනොත් මේ මිල වෙනස් කරන්න ඕනේ කියලා ඔයාට pending order එක cancel කරන්න වුනත් පුළුවන්. නැත්නම් මිල වෙනස් කරලා අපිට modify කරන්න පුළුවන්. pending order එකක් දාන විදිය මම පහලින් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. මම පහලින් දාලා තියන පින්තුරයත් එක්ක තමයි මේ ගැන පැහැදිලි කරන්නේ. ඒක නිසා පහල පින්තුරය දිහා හොදට බලන්න.

Pending Order

ඔයා new order එකක් දානකොට මේ වගේ window එකක් එනවනේ.  ඔයා මෙතන තියන type කියන එකට දාන්න ඕනේ pending order කියන එක. මම අංක 01 න් පෙන්නලා තියෙන්නේ එතන තමයි. එතකොට පහළ කොටස මේ විදිහට වෙනස් වෙලා  තියෙන්න ඕනේ.

ඊට පස්සේ බලන්න මම අංක 02 න් පෙන්වලා තියෙන තැන.  එතනත් type කියලා එකක් තියෙනවා දැන් ඔයාට දාන්න ඕනේ buy order එකක් ද sell order එකක්ද කියල තෝරන්න වෙනවා. අපි හිතමු ඔයාට ඕනේ buy order එකක් දාන්න කියලා. එතකොට ඔයා buy limit කියන එක select කරන්න ඕනේ. ඔයාට ඕනේ sell ඕඩර් එකක් දාන්න නම් ඔයා තෝරන්න ඕනේ sell limit කියන එක. එතන තියෙනවා තව දෙකක්  buy stop සහ sell stop කියලා. මම ඒ දෙක ගැන පසුව විස්තර කරන්නම්.

දැන් බලන්න මම අංක 03 න් පෙන්නලා තියන තැන.  එතන තියෙනවා අංක වගයක් දාන්න.  දැන් ඔයා  හිතනවනේ යම්කිසි මිලක් අන්න ඒ මිල තමයි අපි එතන දාන්න ඕන. අපි හිතමු ඔයා buy limit order එකක් දාන්න හදන්නේ කියල. එතකොට ඔයා දැන් තියන මිලට වඩා පහල මිලක් තමයි එතනින් දාන්න ඕන. ඔයා buy limit එකක් දාලා දැන් තියන මිලට වඩා ඉහළ මිලක් දැම්මොත් ඔයාගේ ගනුදෙනුව යොදන්න වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා sell limit order එකක් දාලා මිල දාන්න ඕනේ දැන් තියෙන මිලට වඩා වැඩි මිලක්. මේවා ඔයාට කරගෙන යද්දී නිකම්ම පැහැදිලි වෙනවා ඒක නිසා බයවෙන්න දෙයක් නෑ.

ඔයා මේ ඔක්කොම හරියිට දැම්මා නම් ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ place කියන එක click කරන්න විතරයි. මම අංක 04 න් පෙන්නල තියෙන්නෙ ඒක තමයි. ඔයා හරියටම order එක දැම්මානම් පහලින් ඔයා දාපු order එක පෙන්නන්න ඕනේ. ඔයා වැරදියට කළා නම් ඔයාට Invalid order කියල වැටෙනවා.

Stop සහ Limit order අතර වෙනස

ඔයා දැන් පැහැදිලියිවම දන්නවනේ Execution order සහ pending order  එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයා pending order එකක් දානකොට ඔයාට  හම්බුනානේ  buy limit, sell limit, buy stop, sell stop කියලා 4 ක්. මේ 4 මොනාද කියලා පැහැදිලි කරන්න තමයි මං දැන් හදන්නේ. මේකත් හරි සරල දෙයක්. මම ඔයාලට ලේසි වෙන්න උදාහරණයක් අරගෙන ම පැහැදිලි කරන්නම්.

EUR/USD දැන් තිබෙන මිල 1.1800 කියල හිතන්න.

Buy Limit – ඔයා හිතනවා දැන් තියන මිල 1.1750 දක්වා අඩු වෙයි කියල. ඒක නිසා ඔයා මිල අඩු උනහම GBP මිලදී ගන්න හිතාගෙන buy pending order එකක් දානව. එතකොට ඔයා දාන්න ඕනේ buy limit කියන එක. හැමවෙලේම දැන් තියන මිලට වඩා පහල මිලකින් අපි buy pending order එකක් දානවනම් අපි buy limit කියන එක තමයි තෝරන්න ඕනේ.

Buy Stop – දැන් මේක buy limit එකේ අනිත් පැත්ත. අපි හිතමු ඔයාට දැන් තියන මිලට වඩා වැඩි මිලකින් buy order එකක් දාන්න ඕන උනා කියල. ඒ කියන්නේ 1.1850 දී buy pending order එකක් දානවනම් ඔයා තෝරන්න ඕනේ buy stop කියන එක. හැමවෙලේම දැන් තියන මිලට වඩා ඉහළ මිලකින් අපි buy pending order එකක් දානවනම් අපි buy stop කියන එක තමයි තෝරන්න ඕනේ.

Sell Limit – ඔයාට මිල 1.1850 දක්වා වැඩි උනහම sell order එකක් දාන්න ඕන වෙනවා. ඒකට ඔයා sell pending order එකක් දානව. දැන් තියන මිලට වඩා වැඩි මිලකින් sell pending order එක දාන නිසා. අපි තෝරන්න ඕනේ sell limit කියන එක. හැමවෙලේම දැන් තියන මිලට වඩා ඉහළ මිලකින් අපි sell pending order එකක් දානවනම් අපි sell limit කියන එක තමයි තෝරන්න ඕනේ.

Sell Stop – දැන් මේක sell limit එකේ අනිත් පැත්ත. අපි හිතමු ඔයාට දැන් තියන මිලට වඩා අඩු මිලකින් sell order එකක් දාන්න ඕන උනා කියල. ඒ කියන්නේ 1.1750 දී sell pending order එකක් දානවනම් ඔයා තෝරන්න ඕනේ sell stop කියන එක. හැමවෙලේම දැන් තියන මිලට වඩා පහළ මිලකින් අපි sell pending order එකක් දානවනම් අපි sell stop කියන එක තමයි තෝරන්න ඕනේ.

දැන් ඔයාට තෙරුනානේ මේවගේ වෙනස මොකක්ද කියල. ඔයා මේවා කරද්දී නිකන්ම තේරුම් යනවා මොකක්ද මේවගෙන් වෙන්නේ කියල. හැබැයි ලිපි කියවල විතරක් මේක තේරුම් ගන්න බැහැ. ඔයාගේ පුහුණු ගිණුමේ මේ දේවල් practice කරන්න ඕනේ. එතකොට තමයි හරියටම තේරෙන්නේ. 

Take Profit

ඔයා trade එකක් open කරද්දී හම්බුන තව එකක් තමයි take profit කියන්නේ. ඔයා Market Execution order එකක් දාද්දිත් pending order එකක් දාද්දිත් මේ take profit කියන එක බලාගන්න පුළුවන්. මේකත් හරිම සරල දෙයක්. ඔයා හිතන්න දැන් EUR/USD වෙළදපල මිල තියෙන්නේ 1.1800 කියල. ඔයා දැන් buy order එකක් දානවා කියල හිතන්නකෝ. මන් දැන් මේ කියන්නේ එවෙලේම ක්‍රියාත්මක වෙන ගනුදෙනු ගැන. ඔයා දන්නවනේ ඔයාට දැන් මේ ගනුදෙනුවෙන් ලාබයක් හම්බෙන්නේ දැන් තියන මිල ඉහළ ගියොත් කියල. ඔයාට දැන් මේ මිල ඉහළ යනකල් computer එක දිහා බලාගෙන ඉන්න බැනේ. ඉතින් ඔයාට මේ ගනුදෙනුවෙන් ලාබයක් ආවහම ස්වයංක්‍රීයවම ගනුදෙනුව close කරන විදියට හදන්න පුළුවන්. එකට තමයි take profit කියන්නේ. ඔයාට කරන්න තියෙන්නේ අපි ගනුදෙනුවක් දාද්දි අපිට ලැබෙන window එකේ take profit කියන තැන ඔයාට ගනුදෙනුව close වෙන්න ඕන මිල දාන්න විතරයි.

දැන් තියන මිල 1.1800 කියල හිතන්න. ඔයා මේ මිලේදී buy order එකක් දානව ඔයාට ඕන වෙනවා 1.1850 ආවට පස්සේ මේ ගනුදෙනුව close කරන්න. (ඒ කියන්නේ ඒකක 50 ක ලාබයක් ආවහම. මේ ඒකක වලට අපි කියන්නේ pips කියල. මන් ඒක පස්සේ කියල දෙනවා.) ඉතින් අපි කරන්නේ ගනුදෙනුව දාද්දි take profit කියන තැනට 1.1850 දාන එක විතරයි. ඒ මිලට ආවට පස්සේ ස්වයංක්‍රීයවම ගනුදෙනුව ලාබයත් එක්ක close වෙනවා. sell trade වලදී take profit අපි ගනුදෙනුව දාන මිලට වඩා අඩු මිලකින් තමා දාන්න ඕනේ. මොකද sell trade වලදී එතකොටනේ අපිට ලාබයක් හම්බෙන්නේ. දැන් ඔයාලට මේක හොදටම තෙරුනානේ.

Stop Lost

මේකත් හරිම ලේසියි. අපි යොදන ගනුදෙනුව අනවශ්‍ය විදියට අලාබ පැත්තට යනවනම් ඒක නවත්ත ගන්න තමයි අපි stop lost යොදන්නේ. දැන් අපි දාන ගනුදෙනුව අලාබ පැත්තට යනවනම් එක අපිට පාඩුවක්නේ. ඒ පාඩුව විශාල ප්‍රමාණයකට යන්නේ නැතුව සුළු අවස්ථාවකින් ඉවර කරගන්න තමයි අපි stop lost යොදන්නේ. මේක දාන්නෙත් ඉස්සෙලා කියල දුන්න take profit දාන විදියටම තමා. ඒ කියන්නේ ඔයා දාන්නේ buy trade එකක්නම් ඔයා ඒ මිලට වඩා පහල මිලකින් තමා stop lost දාන්න ඕනේ. ඒ වගේම sell trade එකක්නම් stop lost දාන්න ඕනේ ගනුදෙනු මිලට වඩා ඉහළ මිලක්. හැබැයි අපි stop lost එක දාන්න ඕනේ ටිකක් වැඩි පරතරයක් තියල. ඒ කියන්නේ pips 40 – 50 වගේ තියල.

Take Profit සහ Stop Lost ගණුදෙනුවකට යොදන ආකාරය.

අපි කතා කරපු take profit සහ stop lost ගනුදෙනුවක යොදන්නේ කොහොමද කියල අපි බලමු. මම ඔයාට buy trade එකක් දාද්දි මේක කරන විදිය පෙන්නන්නම්. Instant Execution order එකක් දාද්දිත් pending order එකක් දාද්දිත් එකම විදියට තමයි මේක කරන්න තියෙන්නේ. ඒක නිසා මම Instant Execution order එකක් දාද්දි කරන විදිය විතරක් පෙන්නන්නම්. බලන්නකෝ මම පල්ලෙහා දාලා තියනවා අපි order එකක් දාද්දි ලැබෙන window එක. ඒකෙ මම take profit සහ stop lost කියන එක පෙන්නලා තියනවා.

Take Profit සහ Stop Lost ගණුදෙනුවකට යොදන ආකාරය.

මම උඩ දාලා තියන පින්තුරය දිහා හොදට බලන්න. මම මෙතන දාන්න හදන්නේ buy order එකක්. buy order එකක් දාන්න ඕන මිල තමයි 1.1813 කියන්නේ. ඔයා දන්නවනේ දැන් මේ මිලට වඩා ඉහළ අගයකට මිල ගියොත් තමා අපිට ලාභයක් එන්නේ. ඒක නිසා අපි take profit දාන්න ඕනේ. වැඩි මිලකට. බලන්න මම take profit කියන තැන 1.1850 දාලා තියනව. ඒ වගේම stop lost දාන්න ඕනේ දැන් තියන මිලට වඩා පහල මිලකට. මොකද අපිට පාඩු වෙන්නේ මිල පහල ගියෝත්නේ.

බලන්න මම stop lost ඒක දාල තියනවා 1.1700 කියල. මෙච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ buy කියන එක click කරලා trade එක දාන්න තියෙන්නේ. trade එක දැම්මට පස්සේ ඔයාගේ chart එකේ රතු පාට කඩ ඉරි දෙකක් බලාගන්න පුළුවන්. ඒ තමයි අපි දාපු stop lost සහ take profit කියන දෙක. ඔයාලට මේ දාපු stop lost සහ take profit කියන ඒවා වෙනස් කරගන්නත් පුළුවන් ගනුදෙනුව දැම්මට පස්සේ. ඔයා ගනුදෙනුවක් දැම්මට පස්සේ පල්ලෙහයින් අපිට පෙන්නනවනේ. එතනට ගිහින් ගනුදෙනුව උඩ mouse එක right click කරලා modify කියන එකට යන්න. එතනින් අපිට වෙනස් කරගන්න පුළුවන්.

හරි දැන් ඔයා මේ ගැන හොදටම දැනුවත් උනා. දැන් ඔයාට කරන්න තියෙන්නේ මේ දේ හොදට පුහුණු වෙන එක තමයි. ඔයාලට මන් මේ ලිපියේ අන්තිම කරුණ කියල දෙන්නම්. මන් ඔයාට pips කියල දෙයක් ගැන කිව්වා මතක ඇතිනේ. අපි බලමු මේ pips කියන්නේ මොනාද කියල.

Pips යනු කුමක්ද?

හරිම සරල දෙයක් තමා මේ pips කියන්නෙත්. ඔය දන්නවනේ forex market එකේ price එක ඉහළ පහල යනවා කියල. 1.3230, 1.3231,1.3241 මේ වගේ මිල වෙනස් වෙනවනේ. ඉතින් මෙතන තියන ඉලක්කම් වල හතරවෙනි ඉලක්කම එකකින් වනස් වෙද්දී කියන්නේ pip එකක් කියල. ඒ වගේ 10 කින් වෙනස් උනොත් pips 10 යි. දැන් තෙරුනානේ. මම පල්ලෙහා දල තියන පින්තුරෙත් බලන්නකෝ.

Pips යනු කුමක්ද?

පින්තුරේ කහ පාටින් කොටු කරලා තියන ඉලක්කම එකකින් වෙනස් වෙනස් වෙද්දී තමයි pip එකක් කියන්නේ. ඔයාට තවත් පැහැදිලි වෙන්න මම උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම්.

  • 01. Market price එක 1.3341 සිට 1.3342 දක්වා ඉහළ ගියානම් මෙහි වෙනස pips 01 යි.
  • 02. Market price එක 1.3341 සිට 1.3343 දක්වා ඉහළ ගියානම් මෙහි වෙනස pips 02 යි.
  • 03. Market price එක 1.3341 සිට 1.3351 දක්වා ඉහළ ගියානම් මෙහි වෙනස pips 10 යි.
  • 04. Market price එක 1.3341 සිට 1.3441 දක්වා ඉහළ ගියානම් මෙහි වෙනස pips 100 යි.
  • 05. Market price එක 1.3341 සිට 1.3321 දක්වා පහළ ගියානම් මෙහි වෙනස pips 20 යි.

දැන් ඔයාලට තෙරුනානේ හොදටම. වෙළදපල ඉහළ ගියත් පහල ගියත් ඒ වෙනසට තමයි pips කියන්නේ. ඔය ටික තමයි අදට අපිට කතා කරන්නේ තිබ්බේ. අද ගොඩක් දේවල් කතා කළා. දැන් ඔයාට ගනුදෙනුවක් සම්බන්දයෙන් හැම දෙයක්ම මම කියල දුන්නා. ඔයාට තියෙන්නේ මේ ටික පුහුණු වෙන්න විතරයි. පුහුණුව තමා වැදගත් වෙන්නේ.

හොදයි අදට මෙතනින් ඉවරයි. ඊලග ලිපියෙන් අපි උපයන සල්ලි කොහොමද අපේ අතට ගන්නේ කියන එක කියල දෙනවා. ප්‍රශ්න තියන අයට මගෙන් අහන්න පුළුවන්. දැන් බලන්න පල්ලෙහා තියන ඒවාට ඔයාට උත්තර දෙන්න පුලුවන්ද කියල.

01. නව ගණුදෙනුවක් open කරන්න පුලුවන්ද?
02. open කරගත් ගිණුම ක්ෂණිකව close කරන්න පුලුවන්ද?
03. pending order එකක් open කරගන්න පුලුවන්ද?
04. Take profit , stop lost ගණුදෙනුවකට යොදන්න පුලුවන්ද?
05. pips කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද?

මේ ටිකට හරියට පිළිතුරු දෙන්න බැරි අය අපහු ලිපි ටික කියවන්න. මොකද අපි පුහුණු ගිණුම් වලත් සත්‍ය ගිනුම්වලත් කරන්නේ මේ ටිකම තමා. ඉතින් මේවා බැරුව වැඩක් නැනේ අපි කරන වැඩේ. මේ ටික තමා අපේ ප්‍රදාන දේ. පොඩ්ඩක් උනන්දුවෙන් කරන්න.
එහෙනම් අපි ඊලග ලිපියෙන් හම්බෙමු.

Next Lesson – උපයන මුදල් අතට ගන්න ආකාරය

Facebook – Hari Forex